රංගනයෙන්, ගායනයෙන් මෙන්ම නර්තනයෙන් ද රසිකයන් පිනවන ජනප්‍රිය නළුවකු ලෙස රජිත හිරාන් චාමිකර හඳුන්වන්න පුළුවන්. පිං පොං’ යන ආදරණීය නාමයෙන් ලොකු පොඩි කවුරුත් ඉතාම හොඳින් හඳුනන රජිත ගැන ඔහුගේ ආදරණීය බිරිය ඇන්ඩ්‍රියා ජෙනිෆර් ජෝන්ස් අප සමඟ කතාබහ කළා.

ඔබට රජිතව මුණගැසුණේ කොහොම ද?

රජිතව මට හමුවුණේ මම පාසල් අධ්‍යාපනය ලබන කාලයේ. ඔහු මගේ සොයුරියගේ හොඳම යහළුවෙක්. රජිත ඉගෙන ගත්තේ වේල්ස් කුමර විදුහලේ. මගේ සොයුරිය ඉගෙනුම ලැබුවේ වේල්ස් කුමරි විදුහලේ.

පාසලේ වැඩ කටයුතුවලට ඔහු නිතරම අපේ ගෙදර ආවා ගියා. ඉතින් දවසක් ඔහු මගේ සොයුරියගෙන් මා ගැන අහලා තිබුණා. නමුත් ඒ වන විටත් මම පාසල් අධ්‍යාපනය ලබන නිසා අක්කා ඔහුට ඒ ගැන පවසා මට තවත් කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කොහොමින් හෝ අපි, රජිතගේ මවුපියන්, මගේ මවුපියන් පවුලේ ළඟම හිතවතුන් බවට පත්වුණා.

ඔබ කන්‍ය සොයුරියක් වීමට කැමැත්තෙන් සිටියා නේද?

ඔව්. රජිත නිසා ඒ අදහස වෙනස් වුණා. රජිත මගෙන් මගේ කැමැත්ත ඇහුවත් මගේ මවුපියන් ගෙන් අහලා ඉන්න කියලා මම ඔහුට කිව්වා. අම්මයි තාත්තයි රජිතට කිව්වේ මම ඒ වන විට ඉගෙන ගනිමින් සිටි නිසා එය පසුවට විමසන ලෙසයි. කොහොමහරි රජිත දවසක් මට චිත්‍රයක් ඇඳලා ගෙනත් දුන්නා. රජිතට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.

මොනව ද ඒ චිත්‍රයේ ඇඳලා තිබුණේ?
 

ඒකේ තිබුණෙ හරි අපූරු සිතුවමක්. මම සිස්ටර් කෙනෙක් වෙලා පල්ලියේ ඉඳලා එළියට එනවා. එයා හිඟන්නෙක් වගේ පල්ලියේ පැත්තක බිම වාඩිවෙලා සිගරට් එකක් බොනවා. මම ඇහුවා කවුද අනේ මේ බිම ඉඳගෙන කුරුසියකුත් කරේ එල්ලගෙන සිගරට් බොන්නේ කියලා. එතකොට රජිත කියනවා, ඒ එයා කියලා.

මම එයාට නත්තලට තෑගි දුන්න කුරුසය තමයි කරේ එල්ලගෙන ඉන්න විදිහට ඇදලා තියෙන්නේ. එයා මට කියනවා ‘ඔයා සිස්ටර් කෙනෙක් වුණොත් මට වෙන්නේ. මේ ටික තමයි’ මේ හැමදේකටම ඔයා තමයි වග කියන්න ඕන කියලා. ඔයා මට කැමැතියි කියලා කිව්වොත් මම සාර්ථකම මනුෂ්‍යයෙක් වෙනවා. ඔයා කියන ඕනම විදිහකට හැදෙනවා කියලා එයා මට කිව්වා. ඒත් මම ඒ වෙලාවේ රජිතට හාවත් බෑවත් කිව්වේ නැහැ.

මම ගෙදර ගිහින් කල්පනා කළා. මෙයාට මොනවහරි වුණොත් මගේ පිටින් තමයි යන්නේ කියලා මට හිතුණා. ඒත් මගේ හිතේ පොඩි කැමැත්තකුත් රජිතට නොතිබුණා නොවෙයි. මොකද මම මුල ඉඳලම එයාව හොඳින්ම දන්න නිසා. කොහොම හරි එක් දෙසැම්බර් 31 වැනිදාවක මම එයාට මගේ කැමැත්ත දුන්නා.

රජිත කොහොම සැමියෙක් ද?

එයා හරිම ආදරණීය සැමියෙක්. එයා මට, දියණියට, පවුලේ හැම දෙනාටම හරිම ආදරෙයි. ඒත් ඒ ආදරේ පෙන්නන්නේ නැහැ. මම අවුරුදු 11 ක් පුරාවට එයා ගැන හොඳින්ම දන්න ළඟින්ම හිටපු කෙනා. එයා එයාගෙ පවුලට හරියට ආදරේ කරන කෙනෙක්. හිතනවට වඩා අනෙක් අයට හුඟක් ආදරෙයි. පොළවෙ පයගහල ජීවත්වන පුද්ගලයෙක්. සරලයි, නිහතමානියි, රජිත පිටරටකට ගියත්, රූගත කිරීම්වලට පිට පළාතකට ගියත් එයා එයාට කිසිම දෙයක් ගන්නෙ නැහැ. මටයි දුවටයි, ගෙදර අයටයි තමයි හැමදේම රැගෙන එන්නේ. සමහර වෙලාවට එය අපිට කරදරයක්. මොකද එයා එයාට කිසිම දෙයක් ගන්නෙ නැති නිසා මම තමයි එයාට තෑගි අරන් දෙන්නෙ. රජිත හැම වෙලේම බලන්නේ අනෙක් අය සතුටු කරන්නයි.

ඔබ දෙදෙනා

ගේ දියණිය දැන් කොහොම ද?

එයා ඇමෙන්ඩා රියානා ප්‍රනාන්දු. ඇයට දැන් අවුරුදු 5 යි. හිතාගන්නත් බැහැ ඇය අපිත් එක්කම වගේ හරි ඉක්මනට ලොකු වෙලා. එයාටත් එයාගෙ තාත්තට වගේ සින්දු කියන්න, නටන්න හොඳට පුළුවන්. ඒ වගේම ඇයට ඉංග්‍රිසි, සිංහල, දෙමළ, හින්දි භාෂා ඔක්කොම හොඳින් කතා කරන්න පුළුවන්. එයා හරිම හුරතල් දරුවෙක්.

පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකට එක්වෙලා දුව නිසා රජිත අපහසුතාවයට පත්වුණා නේද?


මෙහෙමයි. ඇමෙන්ඩා බොරු කියන්නේ නැහැ. එයා කෙළින්ම එයාගෙ අදහස් පවසනවා. එතැනදිත් වුණේ එහෙම දෙයක්. කාටවත් ඇයට බොරු උගන්වන්න බැහැ. ඇය ඇත්ත දේ ඉක්මනටම කියනවා.

රැකියාවට නොගිහින් රජිත නළුවෙක් වීම ගැන ඔබ මොකද හිතන්නෙ?

මේකයි, එක එක්කෙනාට පුළුවන් දේවල්, හැකියාවන් තිබෙනවා. ඒ ගිය ආත්මෙ කරපු දේවල් අනුව තමයි ඒ හැකියාව ලැබී තිබෙන්නේ කියලයි මම හිතන්නේ. රජිතට චිත්‍ර, සංගීතය, ගායනය, රංගනය වැනි දේවල්වලට හැකියාව නොඅඩුවම තිබෙනවා. මටනම් කිසිම කලාවක් පිහිටලා නැහැ. රජිතගේ හැකියාව අනුව ඔහු වෘත්තිමය රංගන ශිල්පියෙක්, කලාකරුවෙක් වීම ගැන මම සතුටු වෙනවා.

ඔබත් රැකියාවක් කරනවා නේද?

ඔව්. මම රැකියාව කරන්නේ එයාර්ෆෝට් එකේ. එහි සර්විස් ඇසිස්ටන් කෙනෙක් ලෙස මම වැඩ කරනවා.

රජිත ටෙලි නාට්‍යවල බොහෝ විට රඟපාන්නේ හාස්‍ය චරිත. ගෙදරත් නිතරම විහිළු තහළු කරනවා ද?

රඟපෑමට වඩා ගෙදර සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. හරියට කේන්ති යනවා. එයාට හැමදේම හරියට පිළිවෙළට තියෙන්න ඕනෑ. රංගනයේදී ඔබ දකින කෙනා නෙමෙයි ගෙදර ඉන්නේ. රාජිත ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.

රජිතගේ ප්‍රේක්ෂකයන් ගෙන් රජිතට වගේම ඔබටත් දියණියටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

අනිවාර්යයෙන්ම. ලංකාවේදී විතරක් නෙමෙයි රජිත පිටරටකට ගිය විටදී පවා ඔහුගේ රසික රසිකාවන් මට ලංකාවට කතා කරනවා. මටයි බබාටයි තෑගි පවා එවනවා.


ගෙදර කෑම බීම සැකසෙන්නේ ඔබ අතින් ද?

ඒ ගැන නම් අහන්න එපා. අම්මා තමයි හැමදේටම උදව් කරන්නේ. මම රැකියාව කරන්නේ ෂිෆ්ට් ක්‍රමයට. ඉතින් ඩේස්වලට වගේම නයිට් එකටත් මට යන්න සිදු වෙනවා. එනිසා හුඟාක් වෙලාවට ඉවුම් පිහුම් වැඩ අම්මා තමයි වැඩිපුරම කරන්නේ. අම්මාගෙන් තාත්තගෙන් ලැබෙන සහ‍යෝගය කියලා නිම කරන්න බැහැ. අපේ පවුල් ජීවිතයේ සාර්ථකත්වයට ඒ දෙන්නගෙන් ලැබෙන උපකාරය දැඩි සේ බලපානවා.

රජිතට හැදෙන කටකතා ගැන ඔබ මොනව ද හිතන්නෙ?

රජිතත් එක්ක විවාහ වෙන්න කලින් නම් මම ඒ දේවල් ගැන තරමක් කලබල වුණා. මොකද මගෙත් අඩු වයස, ක්ෂේත්‍රය ගැන රැකියාවක් ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. දැන්නම් මට කටකතා ගැන අහන්න තියා හිතන්න පවා වේලාවක් නැහැ. ගෑනු සම්බන්ධව නම් රජිතට කවදාවත් කටකතා හැදිලා නැහැ.

විවේකය ඔබ දෙදෙනා ගත කරන්නේ කොහොම ද?

අපි දෙන්නම ගෙදර ඉන්න දවසට නම් හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. එළියට යනවා. චිත්‍රපටි බලනවා. පල්ලි පන්සල් යනවා.

ඔබ දෙදෙනාගේ අනාගත බලාපොරොත්තු?

ලොකු ලොකු බලාපොරාත්තු නම් නැහැ. අපේ එකම බලාපොරොත්තුව පුංචි දියණිය ඇමෙන්ඩා රියානායි. ඇය කැමැති ඉලක්කයට යන්න අපි දෙදෙනාම ඇයට ශක්තියක් වෙනවා.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
Sponsored Ads
Related Posts.