ඇය ගැන හඳුන්වාදීමට වැඩිය අටුවාටීකා අවැසි නැහැ කියලයි අපට නම් හැඟෙන්නේ. ඉරපායා තුළින් පැයූ ඒ තාරකාවිය අද වන විට තරු තෝරන වැඩ සටහන්වල විනිසුරුවරියක්‌ද වනවා.

නමින් සමිතා මුදුන්කොටුව වන ඇය දුව කාවින්ද්‍යා අධිකාරී සහ පුතු ෂේන් සමග ගෙවන ජීවිතය වගේම අද වන විට අතුල ගැන හිතන පතන විදිහ ගැන ද අපට ලැබුණු පුංචි ඉඩකඩදී ඇයත් සමග කතාබහ කළා. මේ එහි පෙළගැස්‌මයි.


සමිතා කොහොමද ඉතිං ?

වරදක්‌ නැහැ. බොහොම හොඳින් කාලය ගෙවීගෙන යනවා.

මේ දිනවල හරියට කාර්යබහුලයි කියන්නේ ඇත්තද?

පසුගිය දිනවල නම් දෙරණ ඩී්‍රම් ස්‌ටාර් නිසා ගොඩක්‌ කාර්යබහුල වුණා. අලුත් පරපුරේ අලුත් කටහඬක්‌ හොයන වැඩේට අපිට ගොඩක්‌ මහන්සි වෙන්න සිද්ධ වුණා. අනික අපිට ඕනෑ වුණේ ගොඩක්‌ හොඳ දෙයක්‌ ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න. ඒක ජයග්‍රහණය කළා කියලා මම හිතනවා.

ඔබ දුන් තීරණය නිවැරදියි කියලා හිතනවාද?

අපි නොවෙයි අවසන් තීරණය ලබාදුන්නේ. ප්‍රේක්‍ෂකයන්.

ඔබේ මතය අනුව පැවසුවොත් ?

අවසන් වටයට පැමිණි තුන්දෙනා ගැනම මම සෑහීමකට පත්වෙනවා. ඒ විතරක්‌ නෙමෙයි, විශේෂයෙන් සඳහන් කරන්න යමක්‌ තියෙනවා.
 

ඒ මොකක්‌ද?

මම වැඩසටහනේ මුල් අවස්‌ථාවල ඉවත්වුණ හොඳ තරගකරුවන් සිටියා. ඇත්තම කිව්වොත් දෙරණ ඩී්‍රම් ස්‌ටාර් තරගයේ දක්‍ෂයන් රැසක්‌ සිටියා. අදක්‍ෂයන් සිටියේ සුළු පිරිසක්‌. මීට පෙරත් හොඳ දක්‍ෂයන් ඉවත්වුණ අවස්‌ථා තිබුණා.

තරු තෝරන වැඩෙන් ඉවත්වුණා නම් නරකද?

මම එහෙම හිතන්නේ නැහැ. ඒකට කවුරු හරි එන්න එපායෑ. අනෙක්‌ කාරණාව තමයි මෙවැනි තරග තියන එක හොඳයි. සින්දුවක්‌ කියාගන්න රූපවාහිනියේ පෙනී ඉන්න කැමැති චරිත මොන තරම් නම් ඉන්නවාද?. මේ අවස්‌ථාව නවකයන්ට හොඳ තෝතැන්නක්‌. මම කොහොමටත් දක්‍ෂයන්ට සුදුසු තැන ලැබෙනවාට කැමැතියි. 


ඒ ලැබෙන අවස්‌ථාව අනුව දක්‍ෂයන්ට තමන්ගේ ගමන හදාගන්න පුළුවන්. මම නවකයන්ට හැමතිස්‌සේම කියන්නේ නිහතමානී ගමනක්‌ යන්න ඕනෑ කියලයි. බොරු ආටෝපයෙන් නෙමෙයි මේ ගමන යන්න ඕනෑ. අනික මාධ්‍යයෙන් පවා මෙතැනදී අපිට ලොකු සහයෝගයක්‌ ලබාදුන්නා.

මම කිව්වේ දැන් ඔබ වැඩෙන් ඉවත් වුණා නම් හරි කියලයි ?

ඒක තීරණය කරන්න ඕනෑ මම නෙවෙයි, මාව තෝරාගන්නා ආයතනය විසිනුයි. මගේ රස්‌සාවෙන් හොඳ දෙයක්‌ කරන්න මම කැමැතියි. මම මගේ රැකියාව හරියට කළා, ඒaක මම නිතරම කියන දෙයක්‌.

ඒ වුණාට ඔබව ඔහොම නිතර දකින්න ලැබෙනකොට මිනිස්‌සුන්ට එපාවෙයි නේද?
 

මම හිතන්නේ නැහැ මාව ලේසියෙන් ප්‍රේක්‍ෂකයන්ට එපාවෙයි කියලා. මම මෙතැනට ආවේ 1989 වසරේදී. අදටත් මගේ ජනප්‍රියත්වය එකලෙස තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉවත් කරනවා නම් ප්‍රෙAක්‍ෂකයන් මීට කලින් මාව මෙතැනින් ඉවත්කරලා. මගේ ප්‍රේක්‍ෂකයන් වගේම මාධ්‍ය මාව අතහරින්නේත් නැහැ, අමතක කරන්නෙත් නැහැ.

සමහරු කියනවා ඔබ තරු තෝරන වැඩසටහන්වලට ඉදිරිපත්වෙන්නේ මුදල් බලාගෙනම කියලා ?

මෙහෙමනේ, අපි තරු වැඩසටහන් ගැන අමතක කරමු. ඔබ රැකියාව කරන්නේ වැටුපක්‌ නැතිවද?. කවුරුත් තමන්ගේ රැකියාව කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයිද?. ඒක තමයි ඇත්ත තත්ත්වය.

අලුත් ගීත කිහිපයක්‌ කළා කියලත් ආරංචියි ?

ඔව්. අලුත් ගීත තුනක්‌ ගායනා කළා. මේ දිනවල ඒවායේ රූප රචනාවලට සූදානම් වෙනවා.

ඔබට තවමත් තාරුණ්‍යය හරි ආදරෙයි ?

ඒක මම ලබපු භාග්‍යයක්‌. මට ප්‍රවීණයන්ගෙන් වගේම නවකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මම ප්‍රවීණයන්ට වගේම නවකයන්ටත් හොඳ ගරුකිරීමක්‌ සිදුකරනවා. තරුණ පිරිස්‌ මට පුළුවන් හැම ආකාරයකින්ම ඔවුන්ව දැනුවත් කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් දැනුවත් කරනවා.
 
මම කවදාවත් නවකයෙක්‌ ආපස්‌සට යවන්න හදන චරිතයක්‌ නෙමෙයි. ඒ වගේම නවකයෙක්‌ සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉවත්කරන්න කතා කරන චරිතයකුත් නෙමෙයි. ඒකයි අදටත් මේ තැන මට ලැබිලා තියෙන්නේ.

ඔබේ දුව ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම මම කාවින්ද්‍යා ගැන ගොඩක්‌ ආඩම්බරයි. දුව සහ පුතා අන්ශ දෙකකින් දස්‌කම් දක්‌වනවා. දුවට හොඳ ගායන හැකියාවක්‌ තියෙනවා. ඒ කාලේ මගේ අම්මා මම දක්‍ෂ ලෙස අධ්‍යාපනය හදාරලා ඉදිරියට යනවා දකින්නයි නිතරම ප්‍රාර්ථනා කළේ.

දැන් මම ප්‍රාර්ථනා කරන්නේ මගේ දුව හොඳට ඉගෙන ගෙන ඉදිරියට යනවා දකින්නයි. ඒක මගේ පැතුමයි. ඒ වගේම පුතා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නියැළෙනවා. දුවයි, පුතයි ගැන මට හරි ආඩම්බරයි.

දුව ගායනයෙන් දස්‌කම් දක්‌වයිද?
මේ ළඟකදී ගීතයක්‌ කළා. ඒ ගීතයේ රූප රචනාවත් නුදුරේදීම එළිදක්‌වයි.

පුතා සංගීතයට කැමැති නැතිද?

පුතා ඩ්‍රම්ස්‌ වාදනයට කැමැතියි. ඔහු දැනට ජගත් ජයවර්ධන යටතේ ඩ්‍රම්ස්‌ වාදනය පුහුණු වෙනවා.

සමිතා ජීවිතය ගැන හිතන පතන විදිහ ?

මම මගේ ජීවිතය ගැන හැමවිටම සුබවාදීව බලන චරිතයක්‌. අද ඉන්න තැන ගැන මම ඇත්තටම සතුටුයි. මම හොඳට ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයේ ගියා. අවුරුදු දහසය වන විට උපාධිය ලබාගත්තා. ඇත්තටම ආපස්‌සට හැරිලා බැලුවොත් මට මම ගැන ආඩම්බරයි. ඒ වගේම මගේ ලෝකය දුවයි, පුතයි. මගේ ආදරය දුවයි, පුතයි. ඒ වෙනුවෙන් කැපවී සිටින ගැහැනියක්‌ විදිහට මම හරි වාසනාවන්තයි.
 
අතුලගේ සංගීත හැකියාවන් ගැන කතා කළොත් ?
ඔහු එදා වගේම අදටත් හොඳ දක්‍ෂ ගායකයෙක්‌ වගේම සංගීතඥයෙක්‌.

අතුලගේ ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ ?
ඔහුටත් එදා වගේම අදටත් හොඳ ජනප්‍රියත්වයක්‌ තියෙනවා.

අතුල සමග අලුත් ගීතයක්‌ කරන්න අදහසක්‌ නැතිද?

එහෙම බලාපොරොත්තුවක්‌ නැහැ. ඔහුටත් ප්‍රේක්‍ෂකයන් එදා වගේම අදටත් ආදරෙයි.

පසුගිය කාලයේ ඔහුට බලපෑ ප්‍රශ්න ගැන මොකද හිතන්නේ ?
ඒවා මට අදාළ නැහැ. දැන් මට ඒ ගැන කතා කරන්න අයිතියක්‌ නැහැ.

ඒ ගැන කතා කරන්න අකැමැති ඇයි ?
මට අදාළ නැති ප්‍රශ්නවලට මම උත්තර දෙන්න කැමැති නැහැ.

අතුලගේ සංගීත හැකියාවට ඔබ සුබ පතනවාද?
අනිවාර්යයෙන්ම ඔහුට හොඳ සංගීත හැකියාවක්‌ තියෙනවා. සංගීත අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට ඔහු ඉදිරියට ලොකු ගමනක්‌ යනවා කියලා අපිට විශ්වාසයි.

අතුල සමිතා දෙදෙනාගෙන් කවුද වැඩිපුර ජනප්‍රිය ?
අතුල සමිතා දෙදෙනාගෙන් කවුරු ජනප්‍රිය වුණත් මට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

දුව කාවින්ද්‍යා අනාගතයේ කවුරු වෙනවා දකින්නද කැමැති ?

මට කවින්ද්‍යා විතරක්‌ නෙමෙයි මගේ පුතා ෂේන් ලොකු මිනිස්‌සු දෙදෙනෙක්‌ කරන්න වුවමනාවක්‌ නැහැ. සමාජයට වැඩදායී හොඳ පුද්ගලයන් දෙදෙනෙක්‌ වුණහම හොඳටම ඇති. අනික මගේ ලොකු බලාපොරොත්තුවක්‌ නැහැ ඔවුන් සමාජයේ ලොකු මිනිස්‌සු වෙන්න ඕනෑ කියලා. සමාජයට කරදරයක්‌ නැතිව හොඳ දරුවෝ වගේ ජීවත්වුණහම හොඳටම ඇති. ඒක තමයි මගේ එකම සිහිනය.

ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවාද?

සාමාන්‍යයෙන් මට එදා ඉඳන් ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ ලැබෙන හැම ප්‍රසංගයක්‌ම මම භාරගන්නේ නැහැ. මට සහභාගිවෙන්න පුළුවන් ප්‍රසංග විතරයි මම භාරගන්නේ.

සමිතා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

එදා වගේම අදත් බොහොම හෙමින් ගමනක්‌ යන චරිතයක්‌. ප්‍රශ්න හමුවේ නොසැලෙන චරිතයක්‌. අනික මගේ ජීවිතය කලබල නැහැ.

දිනේෂ් විතාන
Sponsored Ads
Related Posts.