කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ එක් කොටසක් ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමක් ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදලක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමක බැරකර ඇතැයි තොරතුරු හෙලි වෙයි.

කොළඹ වරාය නගරයේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතුවලින් කොටසක් සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් 'කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්' නම් වූ චීන සමාගම අ.ඩො 1,50 000 ක මුදලක් පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමකට බැරකර තිබුණු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අජිත් මාන්නප්පෙරුම හා නලීන් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් අනාවරණය කළහ.



පුණ්‍ය ආයතනයක් ලෙස මෙම පදනම 2010 නොවැම්බර් මස 24 දින පිහිටුවා ඇති බවත්, පදනම පිහිටුවා ගත් මෙම පිරිස් විසින්ම මෙම මුදල් පරිහරණය කරන බවට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තහවුරු කරගෙන ඇති බවත් මොවුහු කියා සිටියහ.

පසුගිය රජයේ දූෂණ හෙළිදරව් කිරීමේ 04 වන මාධ්‍ය හමුවට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් එබව කියා සිටියේ ය.

උකස් හා ආයෝජන බැංකුවෙන් ලක්ෂ 15 ක් :

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවද පසුගිය ජනාධිපතිවරණ සමයේ එම පදනමට රුපියල් ලක්ෂ 15 ක් ලබාදී තිබෙන බවද ඔවුන් කියා සිටියේය.

එම මුදල් වැයකර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සදහාය.

පසුගිය රජයේ මැතිඇමතිවරුන් එවැනි පදනම් පිහිටුවාගෙන ඇත්තේ තම වංචා හා දුෂණ සාධාරණීකරණය කිරීමට බව එම මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

පසුගිය රජය මහ පරිමාන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා පැවසීය.

එම නිසා ඒවායේ ප්‍රතිලාභ ජනතාවට නොලැබුන බවද ඔහු සඳහන් කළේය. .

සංවර්ධනය වුයේ ජනතාව නොව එක්තරා පැලැන්තියක් පමණක් බව මන්ත්‍රිවරයා පැවසීය.

එම කොමිස් අක්‍රමිකතාවල ණය ගෙවීමට සිදුව ඇත්තේ මෙරට ජනාතවට බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙරාතුව මහත් ආන්දෝලනයකට තුඩුදුන් හෙල්පින් හම්බන්තොට සිද්ධියද මේ ආකාරයේම සිදුවීමක් බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

Sponsored Ads
Related Posts.