තාරුකා දැන් සම්මානනීය නිළියක් නේද? ඔව්. මීට කලින් සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. ඒත් රයිගම් සම්මාන උළෙලෙන් තමයි මට සම්මානනීය වෙන්න ලැබුණේ. 

නැඟී එන නිළිය ලෙස සම්මානනීය වීම ආඩම්බරයක්ද? ආඩම්බර වෙන්නේ නම් නැහැ. හැබැයි මුතු කැට සිහිනේ ටෙලි නිර්මාණයේ යශෝ කුමාරිහාමිගේ චරිතය වෙනුවෙන් මේ සම්මානය මට ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

සම්මානයත් එක්ක ලොකු වගකීමක් තාරුකාට පැවරෙනවා නේද? අනිවාර්යයෙන්ම. රංගනය අගය කරලා සම්මානයක් දෙනවා කියන්නේ අපිට රංගනය තුළ ලොකු වගකීමක් පැවරෙනවා කියන එක. මොකද අපේ හැකියාවෙන් හොඳ දෙයක් කරලා ‍ප්‍රේක්ෂකයන් අතරට යන්න මෙය හොඳ අවස්ථාවක්.



ලංකාවේ සම්මාන උළෙල ගැන එක එක අය එක එක මත දරනවා. මේ සම්මාන උළෙලෙදි සාධාරණ විනිශ්චයක් ලැබුණා කියලා තාරුකා හිතනවද? 

මේ සම්මාන උළෙලෙන් මට සම්මානයක් ලැබිලා තියෙනවා. දැන් මට යශෝ කුමාරිහාමි චරිතයට සම්මාන ලැබෙද්දි තවත් සමහරු කිව්වා හෝපලු අරණේ සුදුහාමිනේගේ චරිතය ඊට වඩා හොඳයි කියලා. මේ විදියට එක එක අයට එක එක මත තියෙනවා. 

කොහොම වුණත් සම්මානයක් ලැබෙන්න හැකියාව වගේම වාසනාවත් බලපානවා. ඉතින් සම්මාන දීම, නොදීම ගැන ‍ෙදාස් කියනවට වඩා තමන් කරන දේ හරියට කළොත් හරි. එහෙම වුණාම ඇගැයීම ලැබිය යුතු තැනදී ඇගැයීම ලැබෙයි.

එතකොට තාරුකාට සම්මානයක් ගැන බලාපොරොත්තුවක් හිතේ කොනකවත් තිබ්බේ නැද්ද? නිර්මාණයක් කරද්දි ඒ චරිතයට සම්මානයක් ගන්න ඕන කියන හැඟීම මට නැහැ. මට අවශ්‍ය වෙන්නේ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න. අපි චරිතයක් හොඳට කරලා තිබ්බොත් කවදා හරි දවසක සම්මානයක් ලැබෙයි කියන බලාපොරොත්තුව මටත් තිබ්බා.
 

මේ සම්මානය ඔබට නොලැබුණා නම් ඒ සම්මානය ලැබිය යුතු කෙනා කවුද? එහෙම කියන්න නම් අමාරුයි. මේ සම්මානයට නිර්දේශ වීම කියන්නෙම ජයග්‍රහණයක්. අපි තුන්දෙනාම හොඳ මට්ටමේ හිටපු රංගන ශිල්පිනියන්. පොඩි ලකුණු ප්‍රමාණයක් වැඩිවෙලා මට මේ සම්මානය ලැබෙන්න ඇති. මට මේ සම්මානය නොලැබුණා නම් අනෙක් දෙන්නම මේ සම්මානයට සුදුසුයි.

රංගන ශිල්පිනියක් විදියට නිර්මාණවලින් නිතර පේන්න තාරුකාට වුවමනාවක් තියෙනවද? මමත් එක කාලයකදී හැම නාළිකාවකම විකාශය වෙන නාට්‍යවල පේන්න හිටියා. මට එහෙම නිතර පේන්න කියලා වුවමනාවක් නෑ. හැබැයි හොඳ නිර්මාණවලින් නිතර පේන්න හිටියත් ප්‍රශ්නයක් නැහැ.

තාරුකාට නිර්මාණ ලැබීමේ අඩුවක් නැද්ද? මට කරගන්න බැරි තරමට නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. නිර්මාණවලින් නම් අඩුවක් නැහැ.


සම්මානනීය වීමත් එක්ක ඒ වටිනාකම තවත් වැඩිවෙයි නේද? ඔව්. සම්මානයත් එක්ක යම්කිසි වටිනාකමක් එකතු වුණා.

ඒ වටිනාකමත් එක්ක දැන් තාරුකාගේ මිල ගණනත් ඉහළ යයිද? ඒක හිතලා බලන්න ඕන. අපි කරන චරිතයට උපරිම දේ කරනවා. ඒ වෙනුවෙන් නියමිත මිලක් ලැබිය යුතුයි කියන තැන මම ඉන්නවා.

මේ දවස්වල රංගන වැඩකටයුතු මොනවද කියලත් කියමු? මේ දවස්වල සඳ දියවර, දේවි කියන නිර්මාණවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

දුටුගැමුණු සිනමා නිර්මාණයෙන් ඔබේ හැකියාව දැක්කා. නැවැත සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැද්ද? ඊට පස්සේ නම් ආරාධනා ලැබුණේ නැහැ. ඒත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.






Sponsored Ads
Related Posts.