ආදරේට සින්දු කියපු බඹරා වගේ විසේකාරයා කවුද කියලා මතක් කර ගන්න එක අමාරු දෙයක් නමෛයි. ඒ එදා වගේම අදත් ඔහුගේ හඬට, පෙනුමට කවුරුත් ආදරේ කරන නිසා. ඔහු තමයි සංගීත් විජේසූරිය. සංගීත් එක්කම කරළියට ඇවිත් ඉන්න සංගීත්ගේ පුතා කෞෂාන් විජේසූරියටත් ලැබෙන්නේ සංගීත්ට ලැබෙන ප්‍රතිචාරයට නොදවෛනි ප්‍රතිචාරයක්. ඒ නිසාම අපිත් මේ තාත්තටයි පුතාටයි ඉඩක් දෙන්න හිතුවා

කතා කරන්නවත් වෙලාවක් නැති තරමට මේ දවස්වල කරන වැඩ මොනවාද?
මෙහෙමනේ. පහුගිය දවස්වල ලොකුවට කතාවක් පැතිරුණා ‘වායෝ’ නැහැ කියලා. ඒ කතාව පැතිරෙනකල්ම අපි හරි නිදහසේ හෙමින් වැඩ කරගෙන හිටියේ. ‘වායෝ’ නෑ කියලා කියන්න පටන්ගත්තට පස්සේ හිතුණා ‘වායෝ’ නැතිවෙලා නැහැ කියලා පෙන්නන්නත් එක්ක ටිකක් වැඩිපුර වැඩ කරන්න ඕන කියලා. එහෙම හිතලා වැඩ කරන්න ගත්තම වැඩ වැඩියි.



* වාඩිවෙලා සංගීතය විඳින අයට විතරද ‘වායෝ’ සංගීතය අහන්න පුළුවන්?
අපි එළියේ තියෙන ප්‍රසංගවලටත් යනවා. එක එක අවස්ථාවන් අපි ආවරණය කරනවා. පාටි, කොන්සට්, වෙඩින් හැමදේම. වැඩිපුර වැඩ තියෙන්නේ පාටි, වෙඩින්, කොන්සට්වල තමයි. ඔය අතරේ අපි අපේ සින්දු කරලත් එළියට එනවා. එතකොට ඕනම කෙනෙකුට අපේ සංගීතය රසවිඳින්න පුළුවන්.

* සැවැන්දරීට ලස්සන ආදරීට සින්දු කියපු අතීතය කොහොමද?
මම කවදත් සින්දු කිව්වේ සංගීත කණ්ඩායමක ඉන්න අතරතුර. මම මුලින් තනියම සින්දු කියලා පස්සේ බෑන්ඩ්වලට ආවේ නැහැ. ඒ වුණත් මුල් කා‍ලේ කියපු සින්දුවලට මට ප්‍රතිචාර හම්බ වුණේ නම් තනි ගායකයකුට ප්‍රතිචාර ලැබෙනවා වගේ. අදටත් ඒ සින්දුවලට ඒ ප්‍රතිචාර ඒ විදියටම හම්බ වෙනවා.

* කාලයක් සංගීත්ව දැක්කේ සනිධප කියලනේ. දැන් සනිධපට මොකද වෙලා තියෙන්නේ?
මම නැති වුණත් මම හිටපු කාලෙට වඩා හොඳට සනිධප තියෙනවා. මම නෑ කිව්වට මම සනිධපවලින් අයින්වෙලා නැහැ. ඒක මම හදපු බෑන්ඩ් එකනේ. මම තමයි තාමත් සනිධප පරිපාලනය කරන්නේ.
 
* සනිධප තාම සංගීත්ගේ නම නිසා මාර්කට් වෙනවා කිව්වොත්?
සනිධප සංගීත්ගේ කියලා හැමෝම දන්නවා. හැබැයි දැන් සනිධප මාර්කට් වෙන්නේ සනිධප කොල්ලන්ගේ වැඩ නිසා. වැඩ හොඳ නිසානේ ඉල්ලුම වැඩි වෙන්නේ.

* සංගීත කණ්ඩායම් දෙකක අයිතිකාරයෙක්. ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති?
සල්ලි නම් හම්බවෙනවා. හැබැයි මම සල්ලි හම්බකරන්නේ මට හම්බවෙන වැඩේ හරියටම කරලා. අනික සනිධපවලින් නම් මම සල්ලි ඉල්ලන්නේ නැහැ. මම වැඩ කරලා මම සල්ලි හොයනවා. හැකියාවට වටිනාකමක් තියෙන්නත් ඕනනේ.

* කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන සින්දු රැල්ලට සංගීත්ව අල්ලගන්න ටිකක් අමාරුයි නේද?
ඇත්තටම කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන බූට් සින්දු රැල්ලට, මල් සින්දු රැල්ලට මම අහුවුණේ නැහැ තමයි. හැබැයි ප්‍රතිචාර බලන්නත් එක්ක මමත් මල් සින්දුවක් කළා. දැන් කට්ටිය ඒ සින්දුව අහනවා. ප්‍රතිචාරය නම් ඒ තරම් සුබදායක නැහැ. මල් සින්දුවලට කැමැති අය සින්දු හරි ආදරෙන් අහනවා. හැබැයි මගේ සින්දුවලට කැමැති වෙලා  හිටපු අය නම් බණිනවා.

ඒ කියන්නේ සංගීත්ව රැල්ලට හරි යන්නේ නැහැ?මටත් හිතෙනවා මම කරන විදිය සින්දු කරන එක හොඳයි කියලා. මොකද කට්ටිය මගෙන් බලා‍පොරොත්තු වෙන්නෙත් ඒක.

* සින්දුවලට වීඩියෝ හදද්දී ඇයි තමන්ගේ මූණම දාගන්නේ?
එක එක්කෙනාගේ මූණු දාපු වීඩියෝ හැමෝම කරනවානේ. අනික අපිව අනිත් අයගේ වීඩියෝවලට ගන්නෙත් නැහැනේ. ඒ නිසා අපේ සින්දුවල වීඩියෝවලට අපි අපේ මූණම දාගන්නවා. අපේ සින්දුවල අපිම ඉන්න එක හොඳයි. සින්දු කියන්නේ කවුද කියලත් හැමෝටම දැනගන්න පුළුවන්නේ.

* සංගීත්ගේ නැටුම්වලට ලැබෙන ප්‍රතිචාරය?
වීඩියෝවලට නම් මගේ නැටුම් හදලා දෙන වැඩේ කවුරු හරි කරලා දෙනවා. හැබැයි ස්ටේජ් එකේ කරන දේවල් නම් අපිමයි හදාගන්නේ. සමහර වෙලාවට නම් කරන්නේ ඒ වෙලාවට හිතෙන දේවල්. හැබැයි ඔය කොයි නැටුමටත් ප්‍රතිචාර ඉහළයි.

* වයස හංගාගෙන සිටීමේ රහස ගැනත් කියනවද?
වයස හංගාගන්නවා කියලා එකක් නැහැ. මේන්ටේන් කරනවා කියලා විශේෂ දේවල් කරන්නෙත් නැහැ. හැබැයි මම හරි සතුටින් ඉන්න කෙනෙක්.
 
* විලාසිතා කියන්නේ සංගීත්ගේ සංගීතයේ කොටසක් ද?
මගේ විලාසිතාවල ක්‍රියේටර් මම ම තමයි. ඒ නිසා ඒවා මගේ සංගීතයට ගැළපෙන්නයි මම හදාගන්නේ. කාලයක් රෙද්ද ඔළුවේ බැඳගෙන ගියා. රෙද්දක් ඇඳගෙන ගියා. ඔය විදියට කාලෙන් කාලෙට වෙනස් කර ගන්නවා. හැමදාම එක විදියට ඉන්න ඕන නැහැනේ.

* ඔය විලාසිතාවලට තියෙන්නේ සතුටුදායක ප්‍රතිචාරද?
කොයි දේ කළත් හැමෝටම ඒක හොඳ වෙන්නේ නැහැනේ. මගේ සමහර විලාසිතාවලට ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාරය හරිම අසතුටුදායකයි. රෙද්දක් ඇඳගෙන තව රෙද්දක් ඔළුවේ බැඳගෙන ගියාම ගැහැනු ළමයි කියනවා ඩීසන්ට් විදියට අඳින්න කියලා. අනේ ඉතින් ඒගොල්ලෝ ඩීසන්ට් කියලා හිතාගෙන ඉන්න රාමුවට රිංගගෙන ඉන්න මට බැහැනේ. අනික මම කරන්නේ කවුරුත් නොකරන දේවල්. වෙන කෙනෙක් කරන දෙයක් කියලා මම කරන්නේ බුදු දහම අදහන එක විතරයි.

* ගැහැනු ළමයි තාමත් සංගීත් දිහා බලනවා කියලයි ඒකෙන් කියැවෙන්නේ?
අ‍පොයි බලනවා. හැබැයි දැන් ‍පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. පුතා කරළියට ආවට පස්සේ ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාර ටිකක් අඩුවෙලා වගේ පේනවා. මොකද ‘තාත්තා’ කියන ‍ලේබල් එක අලවලානේ තියෙන්නේ. ලොකු පුතෙකුගේ තාත්තා කියන ‍ලේබල් එක වැදුණාම මගේ මූණේ නැති රැලිත් පේන්න පටන් අරගෙන.

* පුතාට ගැහැනු ළමයින්ගෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබෙනවා කියලද කියන්නේ?
පුතා තරුණයිනේ. මමත් වයස නැහැ. හැබැයි පුතා මට වඩා තරුණ නිසා ගැහැනු ළමයි වැඩිපුර බලන්නේ එයා දිහා.

* ‍පොඩිවත් ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ නැද්ද?
ඊර්ෂ්‍යාව කියන එක මම හිතෙන් ගලවලා අයින් කළේ මීට අවුරුදු දහයකට විතර කලින්. ඒකත් බුදු දහම නිසා. මම ටික ටික යන්නේ වයසට කියලා මම දන්නවා.

* එතකොට පුතා එක්ක වැඩිය එළියට යන්නේ නැහැ කියන්නේ බොරු කතාවක්ද?
ඇත්තටම බොරු කතාවක්. මම වැඩිපුරම එළියට යන්න කැමැති පුතා එක්ක. එයා හරි සුන්දර මනුස්සයෙක්. කොහොමත් ඉතින් මගේ පුතානේ. සුන්දර වෙන්නත් ඕනනේ.

* සංගීත්ට වඩා පුතා දක්ෂයිද?
ඕක අහන්නත් දෙයක්ද? පුතා මට වඩා දක්ෂයෙක්. හොඳ සින්දු ටිකක් ඉස්සරහට අහන්න හම්බවෙයි. මේ දවස්වල අපට වැඩ වැඩි නිසයි සින්දු ටික එළියට එන්න පරක්කු.

* පුතාව සංගීතයට ගේන්න වුවමනාව තිබුණේ සංගීත්ටද?
මම කාටවත් කිසිම දේකට බලපෑම් කරන කෙනෙක් නමෛයි. පුතාට වුණත් එහෙමයි. එයා පුංචි කා‍ලේ ඉඳලා සංගීතයට ආස වුණා. අවුරුදු හතරෙදි තමයි ඩ්‍රම්ස් සෙට් එකක් ඉල්ලුවේ. අවුරුදු පහේ දී නර්සරි එකේදි ඩ්‍රම්ස් ගැහුවත් එක්ක.

* ‘සංගීත්’ සංගීතයට ආව වගේ හැඟෙන නමක් පුතාට නොතිබ්බේ ඇයි?
අපේ තාත්තා සංගීතයට ලැදියි. ඒ නිසා මට සංගීත් කියලා නම තියන්න ඇති. එහෙම හිතලා නම නොතිබ්බට මම තමයි මගේ පුතාට නම තිබ්බේ කෞෂාන් සංකල්ප විජේසූරිය කියලා. හැබැයි එයා දැන් මම ආසම සංකල්ප කෑල්ල හලලයි නම පාවිච්චි කරන්නේ. කමක් නැහැ මගේ පුතානේ. හිතෙන දේ කරනවා මං වගේම.

* සංගීතයෙන්ම හරි හම්බ කරගන්නද පුතාටත් පාර පෙන්නන්නේ?
එයා සංගීතයේ නව තාක්ෂණය ගැන ඉගෙන ගන්නවා. ඒ නිසා අලුත් දේවල් කරන්න තියෙන ඉඩ වැඩියි. සංගීතය මගේ වෘත්තිය. පුතාත් එහෙමම වෙන්න ඕන නැහැ. හැබැයි කරන දේ හරියට කරන්න කියලයි මම කියන්නේ. සමහර විට අලුත් දේවල් ඉගෙනගෙන පුතා මට වඩා හම්බ කරාවි.

* තරුණ පුතෙකුගේ යාළු මිත්‍රකම්වලදී තාත්තාගෙන් සීමා තියෙනවද?
පුතාගේ ගොඩක් යාළුවෝ දැන් ක්‍ෂේත්‍රයේ ඉන්න අයගෙම පුතාලා තමයි. ඒ නිසා එයාලා එකතුවෙලා කතා කරන්නේ සංගීතය ගැන කියලා මම දන්නවා. අනික පුතාට නීති දාලා පුතාව මගෙන් ඈත්කර ගන්න මට ඕන නැහැ.

* තාත්තයි පුතයි සංගීතෙ එක්කම ඉන්නකොට ගෙදරින් චෝදනා නැද්ද?
මට කොහොම වෙතත් පුතාට නම් නැහැ. මොකද අම්මයි පුතයි ගහයි ‍පොත්තයි වගේනේ. කොහොමටත් පුතාගේ අම්මා දැන් අපේ මේ ජීවිතේට හුරුවෙලා.

Sponsored Ads
Related Posts.