මොනවද රුවන්ගිගේ අලුත් තොරතුරු? සුපුරුදු විදියට රංගන කටයුතුවල යෙදෙනවා. ‘මුතුවැස්ස’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්ව යනවා. අලුත් ටෙලි නාට්‍යයක රඟපානවා. තව නාට්‍යයකට ආරාධනා ලැබිලත් තියෙනවා. රුවන්ගි ලැබෙන හැම ආරාධනාවක්ම පිළිගන්නවාද? නැහැ... මම තෝරා ගැනීමක් කරනවා.

මොන වගේ පදනමක් මතද තෝරා ගන්නේ? එකම විදියේ චරිත දෙකක් ටෙලි නාට්‍ය දෙකක රඟපාන්නෙ නැහැ. චරිත දෙක තුළ සමානකම් තිබුණත් මොකක් හෝ වෙනසක් තිබිය යුතුයි. මුතුවැස්සේ අමාලිගෙ චරිතයත් ඒ විදියේ වෙනසක් තියෙන චරිතයක්.



මොකක්ද ඒ වෙනස? අමාලි වැදගත් පවුලක එකම ගෑනු දරුවා. දෙමාපියන්ගේ ආදරය මැද හැදෙන නිවැරදි තීරණ ගන්න ගෑනු ළමයෙක් තමයි අමාලි. මම ‘‍පොඩි මාමා’ ටෙලි නාට්‍යයේ රඟපෑවේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ චරිතයක්. ‘‍පොඩි මාමා’ ඉවර වෙන්න ළංවෙනවිටම තමයි මුතුවැස්ස විකාශයවීම පටන් ගත්තේ. එකිනෙකට වෙනස් චරිත දෙකක් එක ළඟ කාලයක විකාශය වීම ලොකු සතුටක්.

බොහොම නපුරු දුෂ්ට ගති තියෙන කෙනකුගෙ චරිතයක්. එහෙම නැත්නම් විරූපි මහලු ගැහැනියකගෙ චරිතයක් ලැබුණොත් ඒක භාරගන්නවද?
ගොඩක් මහලු කාන්තාවකගේ චරිතයක් නම් මට ලැබෙන එකක් නැහැ. ඒත් දරුවන් සිටින මැදිවියේ පසුවන කාන්තාවකගේ චරිතයක් එහෙම නැත්නම් දුක් විඳින තරුණියකගෙ චරිතයක්. විරූපී ගැහැනියකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් බොහොම ආශාවෙන් ඒ චරිතය භාරගන්නවා. ඒත් නපුරු දුෂ්ට ගති තියෙන කෙනෙකුගේ චරිතයක් නම් භාරගන්නෙ නැහැ.
 
ප්‍රේක්ෂක ආදරය අඩුවේවි කියලා හිතෙන හින්දද? නපුරු දුෂ්ට ගති ඇති අය කියන්නේ සමාජය ප්‍රතික්‍ෂේප කරන අය. ඒ වගේ චරිතයක් කරන්න මං කැමති නැහැ. ඒත් විරූපී වීම, දිළිඳු වීම, මහලු වීම කියන්නේ සමාජය විසින් ප්‍රතික්‍ෂේප කිරීමට හේතුවක් නමෛයි. ඒ වගේ අය ගැන අවධානය යොමුවිය යුතුයි. ඒ හින්දයි ඒ වගේ චරිතයක් භාරගන්නේ.

නිළියක් විදියට කාර්යබහුලවීම සාමාන්‍ය ජීවිතයට බලපානවද? අනේ ඔව්. සතිය පුරාම මං රඟපෑ ටෙලි නාට්‍ය විකාශය වනවා. ඒත් සමහර වෙලාවට මට ඒවා බලන්න ලැබෙන්නෙ නැහැ. මම රූගත කිරීම් ඉවර වෙලා ගෙදර එනකොට ටෙලි නාට්‍ය විකාශය වෙලා ඉවරයි. පහුවදා පාන්දර ආයෙම ෂූටිං... කාර්යබහුලකම හින්දා ගෙදර ගතකරන්න ලැබෙන කාලය අඩුයි.

විවාහ වුණදාට ඔය තත්ත්වය ප්‍රශ්නයක් වේවි... (හිනැහී) විවාහය ගැන තවම හිතලා නැහැ. ඒ හින්දා විවාහ වුණදාට රඟපෑම ප්‍රශ්නයක් වේවිද කියල තවම හිතල නැහැ.

ඒ වුණාට රුවන්ගිගෙ සමකාලීන නිළියෝ දැන් පතිකුලයට යනවා. ඒ අය පතිකුලයට යන්නේ ඒ අයගේ තීරණය මත. ඒක මට අදාළ නැහැ.

රුවන්ගි සදාකාලිකව තනිකඩව ඉන්නද කල්පනාව? ඒ වගේ අදහසක් නම් මට නැහැ. මං හිතන්නෙ විවාහය ගැන අදහසක් එන්නේ සුදුසු කෙනකු හමුවෙලා ආදරයක් ඇතිවෙලා විවාහවිය යුතුයි කියන තීරණයට ආවම. මටත් ඒ වගෙ තත්ත්වයක් උදාවූ දාක මමත් විවාහය ගැන හිතනවා.




ආරියවංශ කුලතිලක


Sponsored Ads
Related Posts.