තැනේ හැටියට හැසිරෙන්න දන්නවා නම් ප්‍රශ්ණ අඩුයි, වාසනා නොලැබෙන ආදරයක්‌ පසුපස හඹායනවා. නමුත් එයා හරිම අහිංසකයි. ආදරයට ආදරය

කරන්න කැමැති චරිතයක්‌. ඇයට කිසිම ආදරයක්‌ නොකරන තරුණයකු වෙනුවෙන් ඇය හිතින් පුදුමාකාර විදිහට ආදරය කරනවා. සතිඅග ශනිදාවේ සහ ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය තුළින් අපිට මේ වාසනාව දකින්න ලැබෙනවා. ඒ නලින් මාපිටිය අධ්‍යක්‍ෂණය කරන ඉඩදෙන්න ටෙලිනාට්‍යය හරහායි. ඉඩදෙන්න හි වාසනාගේ සැබෑ ජීවිතයේ තතු මීවිතට මෙලෙස පැවසුවා.

පුංචි තිරයේ වාසනාගේ සැබෑ ජීවිතයේ තොරුතුරු ටිකක්‌ කිව්වොත් ? මම නමින් ධනංජනී බණ්‌ඩාර. ගම දියතලාව. දැනට පදිංචිය කොට්‌ටාව. පාසල් ගියේ දියතලාව මිත්‍රානන්ද ජාතික පාසලට. අම්මයි, නංගියි, අයියා කෙනෙකුයි ඉන්නවා. ජනවාරි 15 වැනිදා තමයි මම උපන්නේ.



දියතලාවේ ඉඳන් කොළඹ එන්නේ ? මම දියතලාවේ ඉඳන් කොළඹ ආවේ වැඩිදුර අධ්‍යාපන කටයුතු හැදෑරීමට. නමුත් පුංචි කාලේ ඉඳන් මම රඟපෑමට ආසාකළා. පාසල් යනකාලේ පටන් මම දියතලාව සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ නාට්‍ය පාඨමාලාවක්‌ හැදෑරුවා.

කොළඹ ආවේ ඉගෙන ගන්න නේද? ඒ වැඩේ හරියට කරනවාද ? ඔව්. තවම මම අධ්‍යාපන කටයුතුවලින් ඈත්වෙලා නැහැ. දැනටත් මම කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක්‌ හදාරනවා.

රංගනයට එන්න ලැබෙන්නේ කොහොමද කිව්වොත් ? "ආලෝකෝ උදපාදි" සිනමා නිර්මාණය තුළින් තමයි මට මුලින්ම රංගනයට එන්න ලැබෙන්නේ. එහි ගැමි දැරියකගේ චරිතයක්‌ තමයි මට මුලින්ම ලැබෙන්නේ.

රඟපෑම ගැන මොකද හිතෙන්නේ ? ගොඩක්‌ දේවල් තව ඉගෙන ගන්න තියෙනවා කියලා මට හිතෙනවා.

වාසනා වෙන්න ලැබුණේ කොහොමද? මම දවසක්‌ හැරී විමලසේන මහත්මා සමග ජාතික රූපවාහිනියට ගොඩවැදුණා. එතැනදී නලීන් මාපිටිය මහතා මාව දැකලා ටෙලිනාට්‍යයකට ආරාධනාවක්‌ ලැබුණා. ඊට පසුව තමයි මට ඉඩදෙන්න ටෙලිනාට්‍යයේ වාසනා වෙන්න ලැබුණේ.

වාසනාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද? හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අධ්‍යාපනයයි, රංගනයයි පටලවාගන්නේ නැතිව කරන්න පුළුවන්ද? පැහැදිලිවම. මට වැඩ පටලවා ගන්නේ නැතිව කරන්න පුළුවන්.

කොළඹ පදිංචිවෙලා ඉන්නේ තනියමද? අපොයි නැහැ. මම මගේ නැන්දලාගේ ගෙදර තමයි දැනට පදිංචිය.

ගමෙන් එන තරුණියන් අද කාලේ හරියට රැවටීම්වලට ලක්‌වෙනවාලු. ඔබට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණදෙන්න වුණේ නැතිද? තවම මම ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්‌. ඒක හින්දා සමහරු බොරුවට ටෙලිනාට්‍යවල චරිත ලබාදෙනවා කියලා රවට්‌ටන වෙලාවලුත් තියෙනවා. දැන් නම් එහෙම රැවටෙන්නේ නැහැ.

ඒ කියන්නේ මුලදී රැවටුණා. එහෙමනේ? රැවටුණෙත් නැහැ. ගොඩක්‌ දෙනෙක්‌ රවට්‌ටන්න බලාගෙන ඉන්නවා.

මේ දේවල් කරනවාට ගෙදරින් විරුද්ධ නැතිද? මුලදී නම් වැඩි කැමැත්තක්‌ තිබුණේ නැහැ. අපේ දෙමවුපියන්ට මේ ක්‍ෂේත්‍රය ගැන එතරම් හොඳ පැහැදීමක්‌ තිබුණේ නැහැ. හැබැයි මම ඔවුන්ට මේ ක්‍ෂේත්‍රයේ තිබෙන හොඳ නරක පහදලා මම වැඩකරන විදිහ කියලා දුන්නාම ඔවුන්ගෙන් ලොකු විරුද්ධත්වයක්‌ නැහැ.

රංගනයේදී ඔබටත් සීමාමායිම් තිබෙනවාද? එහෙම ලොකුවට සීමා මායිම් තියාගෙන නැහැ. හැබැයි මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල නම් රඟපාන්නේ නැහැ.

ධනංජිත් හරියට වාසනා වගේමයි කියන්නේ ? අයියෝ නැහැ. මම කවදාවත් නොලැබෙන ආදරයක්‌ පස්‌සේ යන්නේ නැහැ. ඒකෙන් ඵලක්‌ නැහැනේ.

ධනංජි නොලැබෙන ආරදයක්‌ පසුපස කවදාවත් ගිහින් නැතිද? මම කවදාවත් නොලැබෙන ආදරයක්‌ පසුපස ගිහින් නැහැ කියලා හොඳටම විශ්වාසයි.

ඇත්තද ඔයාට මේ වෙනකොට ආදරය ලැබෙනවා කියන්නේ ? මම ආදරවන්තියක්‌ නෙමෙයි.

ආදර අත්දැකීම් පවා නැතිද? එහෙම දෙයක්‌ නැහැ. මම ආදරවන්තියක්‌ නොවුණාට ආදර අත්දැකීම් තියෙනවා.

දැන් ගම අමතක කරලා කියන්නේ ? ඒක සම්පූර්ණ බොරුවක්‌. මට පුළුවන් හැම අවස්‌ථාවකදීම මම ගමේ යනවා.

මෙතැන තනියෙන් වැඩකරනකොට ආරක්‍ෂාව ගැනත් හිතන්න වෙනවා නේද? තැනකට ගිහින් හරියට හැසිරෙනවා නම් මොන ප්‍රශ්නයක්‌වත් ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම තමන් හොඳනම් ඔය කියන ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ. කාගෙත් එක්‌ක වුණත් සමගියෙන් සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් නම් ප්‍රශ්න ඇතිවෙන්නේ හරි අඩුවෙන්. මේ සියල්ල තීරණය වන්නේ තමන්ගේ ක්‍රියාකලාපය අනුව කියලයි මට හිතෙන්නේ.

ඔබව නොමඟ යවන්න කවුරුත් උත්සාහ අරගෙන නැතිද? තවම මට ඒ වගේ ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙලා නැහැ. මම කොහොමටත් පාඩුවේ ඉන්න කෙනෙක්‌. මගේ වැඩේ කළා මම ගෙදර ගියා.

දිනේෂ් විතාන

ඡායා - ලක්‌මාල් ස්‌පෙන්සර්


Sponsored Ads
Related Posts.