සතුන් වත්තේ දිවුල් ගහ යට වඳුරු කූඩු පේළියේ සිටි තාපස බැබුන් යුවළ නරඹන්නන් කාගේත් සිත්ගත් සත්ව පවුලකි.
2010 වසරේ එක්තරා කාලයක තාපස බැබුන් ගැහැනු සතා පළමු ප්‍රසූතියට සූදානමින් සිටියාය. මේ අතර එක් දිනෙක හදිසියේම සත්ව රෝහල වෙත දුවගෙන පැමිණි නරඹන්නෙකු කියා සිටියේ තාපස බැබුන් පැටවෙකු දමා එම පැටියා එහෙට මෙහෙට විසිකරමින් සිටින බවයි. වහා එම ස්ථානයට ගිය මා හටද දක්නට ලැබුණේ එය සත්‍යයක් බවය. විටෙක පැටවා ජල ටැංකිය තුළට දමා නැවත ගොඩට ගන්නා බැබුන් මව තවත් විටෙක පැටවා බිමට අත හරියි. තවත් විටෙක බෝලයක් මෙන් බිම දිගේ පෙරළා දමයි.
කිරි දෙන බවක්ද නොපෙනුණි. පැටවාගෙ ජීවිතයට දැඩි අනතුරක් ඇති බව ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඒ අනුව පැටවා මවගෙන් වෙන් කොට වෙනම කිරි සාදා පෙවීම පැටවා ආරක්ෂා කිරීමට තිබුණු එකම විකල්පය විය.
ප්‍රථම දරු ප්‍රසූතියේ තිබෙන ආගන්තුක බව පැටවා දුටු විගස ඇතිවන මානසික ව්‍යාකූල තත්ත්වය, ප්‍රසූතියේ දී ඇතිවන ප්‍රසව වේදනාව සමග ශාරීරික මානසික ව්‍යාකූල භාවය ආදිය සැලකිය හැක. සත්ව කූඩුව වටා ජනතාව රැස්ව සිටීම නිසා පැටවාට පිටතින් අනතුරක් සිදුවේ යැයි දැනෙන හැඟීම, නිසාද දැඩි ආරක්ෂාව සඳහා මවට ඇතිවන ව්‍යාකූලත්වය පිළිබිඹු කිරීමක් ලෙසද මෙම කාරණා සැලකිය හැකිය. ඇතැම් විට උපතේ දීම දරුවාට ඇතිවන ආබාධ හා අසාමාන්‍යතාවන් හේතුවෙන්ද මව විසින් තම පැටවුන් මරා දමන අවස්ථාවන් තිබේ.
මෙහිදී ඇති වී තිබෙන තත්ත්වය අනුව පැටවා බේරා ගැනීමට නම් මවගෙන් වහාම වෙන්කර ගත යුතුය. ඒ තීරණයට අනුව මා විසින් සකස් කරගත් නිර්වින්දන ඖෂධ තුවක්කු මගින් බැබුන් මව නිර්වින්දනයට පත් කිරීමට කටයුතු කළෙමි. මවිසින් මීට පෙරද සඳහන් කළ පරිදි එය ඉතාමත්ම ප්‍රවේසමෙන් යුතුව කළ යුතු ක්‍රියාවලියකි.
වැරදීමකින් හෝ මවට ගත් ඉලක්කය පැටවාට වැදුණහොත් එම මාත්‍රාව අනුව පැටවාට මරණය පවා සිදුවිය හැක. සෑම විටම සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන්ට මෙම තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වන්නේ දුර සිට කරන එල්ල කිරීමක් වශයෙනි. නිශ්චිතවම තුවක්කුවෙන් ඉලක්කය ගත්තද සතුන් නිශ්චලවම නොසිටිනා බැවින්ද නිර්වින්දන තුවක්කුවට තිබෙන බය නිසා සතුන් ඔබ මොබ දිව යාම පැන යාම හේතුවෙන් ද ඉලක්කයට නිසි ලෙස බෙහෙත් විදීම විශේෂ පළපුරුද්දක් සහිතව කළ යුතුය. දෙහිවල සත්වෝද්‍යානයට සේවයට පැමිණි පසු තනිවම ඉලක්කයට බෙහෙත් විදීමට හා ඉලක්ක ගැනීමට පුරුදු වූ මා එකල එහි සිටි නිවැරදිම ඉලක්ක ගත වෛද්‍යවරයකු වූ බවද ආඩම්බරයෙන් කිව යුතුය. ඉතා දුෂ්කර ඉලක්කයන් පවා ඉතාම සියුම් ලෙස සාර්ථකව සිදුකළ හැකි වූ බවත් සත්වෝද්‍යාන සේවක පිරිස් සාක්ෂි දරයි. අවස්ථා ගණනාවකදීම කූඩුවලින් පිටතට පැනගත් වඳුරු වර්ග ඉතා උස් ගස්වල අතු අතර සැඟව සිටීමේ දී පවා අතු කොළ බේරමින් සතාගේ අතට හෝ කකුලට නිවැරදිවම ඉලක්කයට උඩ බලා පවා විදීමෙන් නිර්වින්දන ඖෂධ එන්නත් කිරීමට හැකි වූයේ මෙම දුෂ්කර පුහුණුවට පින් සිදු වන්නටය.
මේ අනුව පැටවාට කිසිදු අනතුරක් නොවී නිර්වින්දන ඖෂධය නිසි ලෙස මවට ලබා දීමට මෙවරද මා හට අවස්ථාව උදාවිය. ගත වූයේ විනාඩි 2ක් පමණය. පැටවාද සිරුරට හිරකරගෙනම මවට සිහිනැති විය. මම කඩිනමින් කූඩුව විවෘත කර පැටවා දෝතට ගතිමි. කිරි කැටි පැටවා තෙතබරිත වී වෙව්ලයි. ඉක්මනින් වියළි රෙදි ගෙන පැටවා හොඳින් පිස දමා උණුසුම් කොට මවගේ තන පුඩුවට තබා කිරි උරා බිමට ඉඩකඩ සැලැස්සුවෙමි. මවට යම් පමණට සිහිය එන විට ඇගේ කොණ්ඩයෙන් හා ලෝම වලින් පසුපසට ඇඳ තදකර අල්ලාගෙන පැටවාට තවදුරටත් කිරි උරා බිමට අවස්ථාව ලබා දුන්නෙමු.
උපන් විගස කොලෙස්ට්‍රම් සහිත මුල් කිරි බිම පැටවෙකුට ඉතා වැදගත්වේ. දිවිය පුරා පැටවාට අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙන්නේ එමගිනි. එය එක් වරක් පමණක් බිම ප්‍රමාණවත් නොවූවද ප්‍රායෝගික තත්ත්වය යටතේ කළ හැකි උපරිමය වූයේ එයයි.
මෙලෙස නිර්වින්දනය කරන ලද මවගේ මව් කිරි අලුත උපන් පැටවාට ලබා දීමේ දී නිර්වින්දන ඖෂධ යම් ප්‍රමාණයක් පැටවාගේද ශරීරයට ඇතුල් වීම සිදුවිය හැකි වුවද අවස්ථානුකූලව අවදානමක් සහිතව වුවද පැටවාගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් එය කළ යුතු විය.
ඉක්බිති උණුසුම්ව සිටි පැටවා මවගෙන් මුදා පැටවුන් රැක බලා ගන්නා කොටසට යැවීමට කටයුතු කළෙමි. නැවත පැටවා මව වෙත ලබා දුනහොත් නැවත අනතුරක් සිදුවිය හැක. එමනිසා එතැන් පටන් මිනිස් ඇසුරේ හිඳිමින් ළදරු කිරි බොමින් පැටවා දිනෙන් දින හොඳින් වර්ධනය වන්නට විය. පැටවා අලුත උපන් දරුවකු මෙන් පරිස්සමින් රැක බලා ගන්නට සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය දැඩි කැප වීමකින් කටයුතු කළ අතර විදුලි බල්බ හා රෙදි මගින් පැටවාට නිරන්තරයෙන් උණුසුම ලැබුණි. පැටවුන් රැක බලා ගන්නා කොටසේ ආර්. පද්මසිරි, තිලක් යන සේවක මහතුන් පශු වෛද්‍ය උපදෙස් මත එම සතා මහත් උනන්දුවෙන් හදා වඩා ගන්නා ලදී. මවගෙන් නොලද සෙනෙහස පැටවාට නිරන්තරයෙන් ලැබුණේ අප හා සේවක මහත්වරුන්ගෙනි. එම පැටවා උපන් මොහොතේ මවගේ අතින් මිය යාමට නොදී මුදා ගෙන ජීවත් කරන්නට ගත් වෙහෙස මාගේ මතකයේ රැඳුණු තවත් වැදගත් අවස්ථාවකි.
පැටවාට “විනූ” යනුවෙන් නම් තැබිණි.
ඉතා කුඩා ළදරු වයසේ සිට ඝන ආහාර අනුභව කරන වයස දක්වාම දවසට ළදරු කිරි පිටි වාර 5ක් පමණ ඔහුට ලබා දුන් අතර කිරි වේල සාදාගෙන සේවක මහතා පැමිණෙන විට විනූ ඉතා සතුටින් ඉපිල දඟලමින් හැසුරුණු අයුරු ඇයටම වෙන්වූ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කළ අයුරු අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ අනුව පැටවා ඉතා හොඳ තත්ත්වයෙන් පසු වුවත් මෙසේ වෙන් කර කිරි ලබා දී ඇති දැඩි කර මිනිසුන් සමග ජීවිතයට හුරුවූ මෙවන් සතුන් නැවත එම සත්ව රංචුව තුළට යොමු කළ නොහැකි වීම කනගාටුවට කරුණකි.
මෙලෙස පැටවුන් ප්‍රතික්ෂේප කිරීම හා මව විසින් මරා දැමීමද සලකා බැලිය යුත්තකි. සත්වෝද්‍යානයේ උපත ලද බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගේ පැටවුන් මව විසින් සපා කා මරා දැමූ අවස්ථා රැසක් තිබුණි. එම අවස්ථාවේ සියුම් ලෙස කරනු ලැබූ මරණ පරීක්ෂණ සිදු කරද්දී පෙනී ගියේ එම ව්‍යාඝ්‍ර පැටවුන් උපතින් අකර්මණ්‍යතා සහිත වූ බැවින් එලෙස කා දමන්නට ඇති බවය. නමුත් මෙම බැබුන් පැටවා මරා දැමීමට මවට එවන් හේතුවක් නොවූ බවද නිරීක්ෂණය විය. බැබුන් වැනි වඳුරු කුලයේ ප්‍රයිටේටාවන් පිරිමි පැටවකු උපත ලදොත් පිරිමි සතා විසින් එම පිරිමි පැටවා මරා දැමීමටද උත්සාහ දැරූ අවස්ථා ඇත.
ඒ පිරිමි පැටවාගෙන් තමාට අනාගත අභියෝග එල්ල නොවෙනු පිණිසය. වනාන්තරයේ දී නම් පැටවා උපත ලද වහාම පිරිමි පැටවකු නම් පියාට හසු නොවන පරිදි වෙනත් ස්ථානයකට ගෙන ගොස් සඟවා ගෙන පෝෂණය ලබා දීම මව විසින් සිදු කරයි. නමුත් මෙතැනදී සිදුවූයේ හාත්පසින්ම වෙනත් දෙයකි. එනම් මව විසින් පැවටා මරා දැමීමට උත්සාහ කිරීමය.
මව් සෙනෙහස උපතේදීම අහිමි වූ විනූ තාපස බැබුන් පැටවාට සත්වෝද්‍යානය තුළ දී තිබූ මානව සෙනෙහස නම් අඩුවක් වූවේ නැත. සැවොම ඉතා ආදරයෙන් සුරතල් කරමින් මෙම කුඩාපැටවාට කෘත්‍රිම ආහාර ලබා දෙමින් රැක බලා ගන්නා ලදී.
පසු සටහන එම තාපස බැබුන් පැටවා වයස අවුරුදු 2 පමණ වන තෙක් වෙනම සත්ව රෝහල අසල කූඩුවක ඇති දැඩි වූ අතර එම සතුන්ට කායික ක්‍රියාකාරකම් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පරිදි ව්‍යායාම වැඩි කරවීමට ලණු එල්ලා තිබුණි. 2012 වසරේ දිනෙක මා සත්වෝද්‍යානයේ රාජකාරියට පැමිණෙන විට කන වැකුණේ ඉතා දුක්බර ආරංචියකි. එනම් වසර දෙකකට පෙර මා විසින් මවගේ ප්‍රහාරයෙන් බේරාගෙන උත්සහයෙන් කිරි දී හදා වඩා ගත් “විනූ” ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවය. එම සිදුවීම දකින විටම හද කම්පා කරවන සුළුය. එය ජීවිතයේ කිසි දිනක මගේ මතකයෙන් ඈත් නොවනු ඇති තරම් පුදුමාකාර එකක් විය. සිදුවී තිබුණේ ක්‍රීඩා පිණිස එල්ලා තිබූ කඹවලින් එකක් ලිහා ගත් සතා කෝපයෙන් මෙන් තම හිස ලණු දෙබලට ඇතුළු කරගෙන තිබිමය. ලණුව කැරකී හිරවී ගෙල සිර වී සතා මිය යන්නට ඇත. එය පිටතින් පෙනී ගියේ මිනිසකු ගෙල වැලලාගෙන මිය ගිය අන්දමින්ම “විනූ” ද ගෙල වැලලාගෙන මියගොස් සිටින අයුරුය. 2012 වසරේ දී සිදුවූ එම සිදුවීම දෙහිවල සත්වෝද්‍යානයේ මින් පෙර කිසිදු දිනක සිදු නොවූ සිදුවීමකි.
හිටපු සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර